මූලාශ්‍රය: දිනමිණ
වසර 168ක් පැරණි ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා වසර 22ක ඉතිහාසයක් ඇති ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර ‘නෙවිල් ද අල්විස්-රැල්ෆ් අලස් අභියෝගතා කුසලාන’ වාර්ෂික පාපන්දු තරගය මේ 26 වැනිදා රත්මලාන ගේට්වේ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී විදුලි ආලෝක ධාරා මැද පැවැත්වෙයි. මෙයට අමතරව විදුහල් දෙක අතර 14න් පහළ පාපන්දු තරගයක් හා කොළඹ විශාඛා විද්‍යාලය – ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර බාලිකා පාපන්දු තරගයක් එදිනම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ තරග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ පාපන්දු නිවහනේ දී පෙරේදා පැවැති අතර එහිදී ගේට්වේ ජාත්‍යන්තර පාසල් ජාලයේ සභාපති හර්ෂ අලස් මහතා හා සාන්ත තෝමස් විදුහල්පති මාක් බිල්මෝරියා පියතුමන් ප්‍රධානත්වය ඉසිලූහ.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම අධ්‍යාපනඥයන් දෙදෙනෙකු ලෙස පිළිගැනෙන නෙවිල් ද අල්විස් සහ රැල්ෆ් අලස් යන මහත්වරු සිහිපත් කරමින් මේ අභියෝගතා කුසලානය නම් කොට ඇති අතර මේ වසරේ සිට වසරින් වසර වාර්ෂික තරගාවලියක් ලෙස මෙය පැවැත්වීමට සංවිධායකයෝ අපේක්ෂා කරති.
මේ මාධ්‍ය හමුව ඇමැතූ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල්පති මාක් බිල්මෝරියා පියතුමන් පැවැසූවේ ගේට්වේ විදුහල සමග පාපන්දු තරගය නව මාවතක් විවර කිරීමක් බවය. “මෙරට ශ්‍රේෂ්ඨ විද්වතුන් දෙදෙනකුගේ නමින් මේ තරගය පැවැත්වීම සතුටක්. නෙවිල් ද අල්විස් මහතා වසර 16ක් තිස්සේ සාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය හා ක්‍රීඩාව දියුණු කිරීමට මහන්සිවූ අයෙක්. ඒ වගේම ඩී. එස්. සේනානායක විදුහලේ නිර්මාතෘ ලෙස සිට පසුව ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහය බිහිකළ රැල්ෆ් අලස් මහතා කීර්තිමත් අයෙක්. ගේට්වේ වැනි මුල් පෙළේ ජාත්‍යන්තර පාසලක් සමග අප ක්‍රීඩා කරන්නේ ඉමහත් සතුටෙන් යුතුවයි. මේ තරගාවලිය දිගින් දිගටම පවත්වා ගෙන යෑමට අප කටයුතු කළ යුතුයි” බිල්මෝරියා පියතුමන් පැවැසීය.
ක්‍රීඩා ඉතිහාසයේ දිර්ඝ ආකර්ෂණීය ඉතිහාසයකට උරුමකම් කියන සාන්ත තෝමස් විදුහල සමග පාපන්දු තරගයකට එක්වීම තම පාසල ලැබූ වාසනාවන්ත අවස්ථාවක් බව ගේට්වේ ජාත්‍යන්තර පාසල් ජාලයේ සභාපති හර්ෂ අලස් මහතා මේ මාධ්‍ය හමුවේදී පැවැසීය.
“මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පතාක යෝධයන් දෙදෙනකුගේ නමින් මේ තරගාවලිය නම්වීම ඉතා වැදගත් වෙනවා. එය ඔවුන්ට උපහාරයක් වේවි. අප කාලයක් සිට සාම්ප්‍රදායිකව ක්‍රීඩා රැසක් ඉදිරියට ගෙන යනවා. නමුත් විදුහල් දෙක අතර මේ නව පාපන්දු තරගය එයට වඩා වෙනස්. ඒ නිසාම වඩත් ආශ්වාද ජනක තත්ත්වයකට මේ තරගය හරහා ඉදිරියට ගමන් කළ හැකියි” අලස් මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, පාපන්දු ලේකම් ජස්වර් උමාර්, විදුහල් දෙකේ ගුරුභවතුන් සහ පුහුණුකරුවන් හා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ගේ මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.